වීරයෙක් ගෙදර

පුතේ……
පුතේ……..
අන්න ජනාධිපතිතුමාත් ආවා. විගහට එන්න උත්සවේ පටන් ගන්නවා.

අම්මේ කෑ ගහන්න එපා. අයියා ආවට එයාට පෙන්නේ නෑනේ 

උඹ කටවහන් ඉදපන්
පුතේ…

අම්මේ

උඹට ඇහෙන්න මම සද්දේ වැඩි කරන්නද?

නෑ අම්මේ මේ හොඳයි මට ඇහෙනවා.

හරි ගාම්භීරයි පුතේ අද. අවුරුදු ගානකට පස්සෙ හරි මෙහෙම තියෙනවා. මුන්ට කී දොහකට පස්සෙද රට නිදහස් කර ගත්ත උඹලව මතක් උනේ.

හරි අම්මේ දැන් මිනිස්සුන්ට වෙන වැඩක් නැතිවැ අපිව මතක් කර කර ඉන්න.

එහෙම කියලා පුලුවනෑ උඹලා නැත්තං තාමත් මෙහෙ උන් මැරෙනවා, බෝම්බ පුපුරනවා. මිනිස්සු මෙහෙම හරි නිදහසේ ඉන්නේ උඹලට පිං සිද්ධ වෙන්නනේ. උන්ට මැරෙනකන් උඹලව මතක තියෙන්න ඕනේ.

“මීලගට දිවි පිදූ සෙසු නිලයන් හට උපහාර දැක්වීම සඳහා එම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රණවිරු ස්මාරකය වෙත කැදවාගෙන එනු ලබන අතර ඒ සඳහා ප්‍රථමයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා සැරයන් D.P බණ්ඩාර  PWV WWV RWP, ඔහුට උපහාර දැක්වීම සඳහා එතුමාගේ මව වන S.W කුසුමවතී මහත්මිය යුධ හමුදා සේවා වනිතා ඒකකයේ රංජනී තිසේරා මහත්මිය කැදවාගෙන එනු ඇත.”

“සාජන් බණ්ඩාර”
මල්ලී උඹ අද මාත් එක්ක නේද? තව දවස් කීයද මල්ලී අරුන් නැට්ට ලගට හිර වෙලා ඉන්නේ. උඹ කොහෙද  ඊයේ ?

FDL එකේ ඉස්සරහ කෝප්‍රල් සිල්වා එක්ක RECCE එකක ගියා.

සිල්වා දැක්කෙත් නෑ

කෝප්‍රල් සිල්වා අනුරාධපුරේ සාජන්.

ඇයි මොකෝ?

RECCE එක ඉවර වෙලා Line එක ලඟම බට්ටෙක් පෑගුනා. එහෙන්මම Airlift කළා අනුරාධපුරේට.

එහෙමද?

හ්ම්

කමක් නෑ බං කොල්ලෝ දත කාගෙන Moral එකේ ඉන්නේ. තව පොඩ්ඩනේ. මම මේ පාර නිවාඩු ගියෙත් නෑ, පොඩ්ඩක් පහු කළා. ගෙදර ගිහාම බෑ බං මෙහෙ මයි හිත, මම එන්න කලින් මේක ඉවර වෙයි කියලා. තව ටික දවසනේ නැද්ද? ඔය Bino එක දියන්.
මල්ලි උඹ මොකද හිතන්නේ මේක ඉවර උනාම ?

මොනවද සාජන්?

යුද්දේ ඉවර උනාම අපිට මොනවා වෙයිද ?

මොනවා වෙන්නද සාජන්.

මට නං හරි අසයි බං.
රටම අපි ගැන කතා කරනවා, ආමි කොල්ලන්ට සලකනවා. උඹ දැක්කනේ අපි කිලිනොච්චි අල්ලපු වෙලාවේ රටම කිරිබත් කෑවා. මගුල් ගේ වගේ. මම පස්සෙන්දා නිවාඩු යන ගමන් ගෙදර ලගටම යනකං සීට් එක හම්බුනා, යන ගමන් බස් එකේ මිනිස්සු කන්න බොන්න අරන් දුන්නා, ගමේ මිනිස්සු ගෙදර පිරිලා මගේ දුක සැප අහන්න. උඹට කියන්න, වෙනදට මූණ බලන්නේ නැති නෑයෝ ගේ හැම තැනම…….. අන්න අපේ අම්මා මට කෙල්ලෙකුත් හොයලා.

එහෙනම් සාජනුත් ඉක්මනට බදී නේද?

බලමු බලමු…මං කියන්නේ මල්ලි අපි ගැනත් ඉස්සර හිටපු රජ ගොල්ලෝ ගැන වගේ පොත් එහෙම ලියයි…නැද්ද?
මොකෝ උඹ හිනා වෙන්නේ?

පොත් ලියලා තියන්නේ රජවරු ගැන සෙන්පතියන් ගැන, අපි ගැන නෙමේ නේ සාජන්.

එහෙම කියන්න එපා බං. මේ පාර එහෙම වෙන එකක් නෑ. මිනිස්සු මේ යුද්දේ ගැන එහෙම හිතන එකක් නෑ. මම  කවදා හරි අපේ පොඩි උන්ට කියලා දෙනවා, අපි යුද්දේ කරපු හැටි. උන් දැනගන්න ඕනේ අපේ කොල්ලෝ උන්ට ඉතුරු කරපු රට ගැන……,
කොල්ලෝ කී දෙනෙක් මගේ අත් දෙකෙන් පස්සට අරන් ඇද්ද, උන් කෑලි යනකං හැමදේම පූජා කලේ මොකටද කියලා ලංකාවම දන්නවා මල්ලි. ඒවා ජීවිතේට මිනිස්සුන්ට අමතක වෙන්නේ නෑ බං, උඹ බලපන්කො මම කියන්නේ බොරුද කියලා.

එහෙම වෙයිද සාජන්?

එහෙම තමයි බං. උඹ මේ සාජන් බණ්ඩාර, අද කිව්වා කියලා මතක තියාගනින්. අපි මැරෙනකම්ම වීරයෝ බං, ලංකාවම අපේ වගේ තමා.
අන්න එහෙම හිනා වෙලා ඉදපන්….

ඒ….., අරක එන පොට හොඳ නෑ. ගහපන් LMG එකෙන්……..

සාජන්….., ඌ නවතින පාටක් නෑ……..

යකෝ ඌ කඩන් ගියොත් line එක ඉවරයි. මෙහෙ දියන් RPG එක. උඹ firing එක නවත්තන්න එපා…….

ළඟ වැඩී සාජන් …… 

“මීලගට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ …….”

දුවේ.. ලේන්සුවක් අරන් වරෙන්. අයියගේ ඇස් වලින් ආයිත් කඳුළු එනවා.
පුතේ උඹේ ඇස් දැවිල්ලද ආපහු?
දැන් ටිකකට කලින් නේද බෙහෙත් දැම්මේ ?
කෝ බං සුදු ලේන්සුව? උඹට තාම හොයාගන්න බැරි උනාද?………….

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s