සමුද්‍ර..

මම හැමදාම මහ මුහුදට ආස කළා. මං නිදහසේ ඔහේ සිතිවිලි එක්ක ඉන්න ආසම තැන උනේ මහ මුහුද. ඒ ගුප්ත රළුකමට මං හැමදාමත් ආදරේ කළා. මං සමුද්‍රව මුලින්ම දැක්කෙත් ගෝල්ෆේස් එකේදී. එතකොට අපි කැම්පස් ෆස්ට් ඉයර්. එදා සමුද්‍රලගේ සීනියර් බැච් එක අපිව අරන් ආවේ ලෝටස් පාර ළඟ පිකට් එකට. කදුළු ගෑස් කාගෙනම අපි නතර උනේ ගෝල්ෆේස් එකේ.
ඉර බැහැගෙන යනකොට මුහුද හරිම ආඩම්බරයි. ආයි හමුවෙමුයි කියලා ස්තිජයේදී ඉර, මුහුදට හාදුවක් දීලා හරි ප්‍රේමණීය විදියට සමුගන්නවා.

ඒ වගේ මොහොතක තමා මම සමුද්‍ර දිහා අහම්බෙන් වගේ හිතලම බැලුවේ. ඌට තිබුනා මං ෆැන්ටසයිස් කරපු පෙනුමක්. දිග කොණ්ඩයක, කැරළි ගෙතුණු රැවුලක්, පිරුණු පපුවක්, පළල් උරහිස් එක්ක රළු දරුණු පෞෂයක්.

ඌ හරි අහංකාරයි කියලා හැමෝම කිව්වේ.

සමුද්‍රගේ අවධානය ගන්න, මං ඉන්නවා කියන්න, මං කොච්චර නම් පස්සෙන් යන්න ඇද්ද ?

අන්තිමේදී සමුද්‍රමයි කිව්වේ “ නංගි උඹ පේන්න ඉන්නවා වැඩී” කියලා.

එහෙම කියලා තමයි අපේ කතාව පටන් ගත්තේ.

සමුද්‍ර හරි චන්ඩයි. එයා හිටියේ එයාගේ ලෝකේ. ඒකට පිටින් මහ පවුරක් එයාම බැදලා තිබ්බා.ඒකට යතුර දීලා තිබ්බ එකම කෙනා මම විතරක්ම වෙන්න ඇති. එත් සීමාසහිතව, ඇතුල් වෙන්න අවසර තැන් වලට විතරක්.

මං ඒ රළු පරළු නොහික්මුණු ගතියට තව තවත් ආදරේ කළා.

සමුද්‍රගේ අතේ එල්ලිලා කොච්චර නම් රැල්ල පාගන්න ඇද්ද, උණුහුමට පපුව උඩ තුරුල් වෙලා රැයවල් කීයක් වෙරළේ ඉන්න ඇද්ද, මට ඒ ආදරයට ඇබ්බැහි වෙන්න ඕනේ උනා….

මගේ ජීවිතයම සමුද්‍ර ඇතුලේ දියවෙලා එතිලා රැදිලා පැතිරිලා තිබුණේ මං දැනුවත්වමයි. එකේ දිග පළල ගැඹුර බලන්න මට උවමනාවක් තිබුනේ නෑ. සමුද්‍රට මං ගැනත් එහෙම දැනුනද කියන්න මම අහන්න ගියේ නෑ. කියන උත්තරය මම දන්න නිසාද ඒ ගොරහැඩි අවංකත්වයට මං පණ දෙන්න හිටියද කියන්න මම දන්නේ නෑ.

සමුද්‍ර කවමදාවත්ම මගේ නොවන බව මං දැනන් හිටියා. එයාට කවදාවත් කොටු වෙන්න කූඩු වෙන්න ඕනේ උනේ නෑ, කඩාගෙන අසීමාන්තික නිදහසම හොයාගෙන ගියාම මිස.

 

සමුද්‍රගේ කටේම තිබුනේ සමාජ අසාධාරණය, පන්ති භේදය , බල තණ්හාවේ විපාක, සම්පත් විෂමව බෙදීම. එත් සමුද්‍ර ඒවට උත්තර හෙව්වේ සාම්ප්‍රදායික නොවන එයාගේ ක්‍රමයට. අනිත් උන් FB එකේ කී බෝර්ඩ් විප්ලව කරද්දී සමුද්‍රට profile එකක් වත් තිබුනේ නෑ. අඩුම තරමේ හරියට ෆොටෝ එකකටවත් මූණ දුන්නේ නෑ. එත් අනිත් සේරටම වැඩියෙන තමන් යන ගමන ගියා, අප්‍රසිද්ධියේ එයා එයාගේ ලෝකයට වැඩෙන්නට ඉඩ දුන්නා.

මං එපා කිව්වේ නෑ, බලං හිටියා, දැනන් හිටියා , අහං හිටියා විතරයි.
මට තිබුනේ ලෝභකමක්, සමුද්‍ර ගැන තණ්හාවක් විතරයි. මං ප්‍රශ්න කලේ නෑ මගෙන් වත් අපි නවතින්නේ කොහෙද කියලා. මං හිටියේ හෙටක් නෑ කියන ගානට සමුද්‍ර මට ඉඩදුන්න එයාගේ ලෝකයේ. එත් හැමදේම නවතින දවසක් එන බව මම දැනන් හිටියා.

ආදරය ඉවර වෙද්දී රාගයත්, රාගය ඉවර වෙද්දී අනුකම්පාවෙනුත් මං පුළුවන් තරං කල් සමුද්‍රව මම මගේ කරන් තියා ගත්තා.

අන්තිමේදී එක දවසක සමුද්‍ර මුහුද දිහා බලාගෙනම “මට යන්න දෙන්න “ කියලා මගෙන් ඉල්ලුවා. මං ඇඩුවේ නෑ. මේ දවස කවදා හරි මට උරුම වෙන බව මම දැනන් හිටිය නිසා.

ඒක හරි අපූරු ප්‍රේමයක්; විරහවක්, කඳුලක්, වේදනාවක් ,තරහක් ගෑවිලාවත් තිබුණේ නෑ…

වේගයෙන් ඇවිත් කෑගහලා බිදෙන්න රළකට උනත් ඉඩක් තියෙන්න ඕනේ. සමුද්‍ර කියන්නේ නිදහස් මහ මුහුදක්. ඒ නිදහසට අවසරය දෙන්න වත් මට අයිතියක් නෑ. සමුද්‍ර එයාගේ ගමන පාඩුවේ ගියදෙන්… එහෙම හිතන් මං මුහුද ළඟ තනිවෙනකොට සුපුරුදු ඉරත් බැස ගිහින්. ඒ තමයි අපි දෙන්නගේ අවසන් හමු වීම……

 

සයුරු මගේ තාත්තාගේ හොඳම යාළුවෙකුගේ පුතෙක්. අපි ආදරෙන් ඉමු කියලා පොරොන්දු වෙලා වැඩි හොඳට සංස්ථාපිත වෙන්න කියලා කසාදත් බැන්දා දවසක. ඒ ආදරේ වෙනස්, හැබැයි හරි ආදරණීයයි. සයුරු හැම බිරිඳක්ම ප්‍රාර්ථනා කරන සැමියෙක්. සයුරුට තිබුනේ පරිත්‍යාග කරන්න පුලුවන් ආදරයක්. හිත දිනාගත්ත ආදරයක්. මම සයුරුට ආදරේ කලේ අසීමිතව, දැනුවත්ව. ඒ ආදරය සුන්දර අපූරු ආදරයක්.

අපේ පුංචි ලෝකය ඇතුලේ අපි සංස්ථාපිත සමාජීය රීති හැමදේම අකුරටම කළා. බැදලා මුලින් ගෙයක් ගත්තා, වාහනයක් ගත්තා. අවුරුද්දක් යද්දී අපිට ලස්සන බබෙකුත් ඉන්නවා. මම ඒ සාම්ප්‍රදායික කොටු ගහපු ලෝකේ අනික් අය වගේම ජීවත් වෙන්න පටන් ගත්තා.

මට සමුද්‍රව අමතක උනාද?

නෑ. සමුද්‍ර මගේ හිතේ පුංචි කොනක මගේම මතක ගොන්නක් මැද්දේ මාත් එක්කම හිනා වෙවී හිටියා. එයාගෙන් වත් ඒ මතකයෙන් වත් මට කරදරයක් තිබුනේ නෑ. ඒ ආදරය හැමදාටම එහෙමයි, වෙනස්.

සමුද්‍රගෙන් මම වෙන් වෙච්ච කාලේ ඉදන් එයා ගැන ආරංචි ආවා. බලෙන් හොයන්න උවමනාවක් නැති උනත් මම එයා ගැන දැනගන්න ආස කළා.කලින් ඉදන් කියල තිබ්බා වගේ මුලින් ඉන්දියාවට ගිහින් තිබුනා. රුසියාවට ගියා කියලා යාලුවෙක් කිව්වා පස්සේ කියුබාවට, ඊලගට කිව්වේ ඇමරිකාවේ PHD එක කරනවා කියලා. හරියට ත්‍රාසජනක කතාවක් වගේ මම එයාගේ ගමන් ගැන හිතුවා. එයා එයාගේ ජීවිතේ හිතපු විදියට ගෙවනවා නේද කියලා මම සන්තෝස උනා.

නිලූ ගිය පාර හම්බුන වෙලාවේ කිව්වේ “අන්න සමුද්‍ර FB ඉන්නේ දැක්කේ නැද්ද කියලා.” මමවත් FB නැතිකොට මම කොහොමද ඕවා බලන්නේ කියලා මම නිලූට විහිලුත් කළා. සමුද්‍ර නෙමේ වෙන්න ඇති. එයාගේ ලෝකේ ඕවා තිබුනේ නෑ, මම හිතුවේ එහෙමයි.

රයන් කතා කලේ ගිය මාසේ,ඕපදූප ටිකකින් පස්සේ  “අන්න සමුද්‍ර ලංකාවට ඇවිල්ලා. හම්බුණේ නැද්ද ? ඌව අදුරගන්නත් බෑ. ඌ හොදටම වෙනස් වෙලා මචං” මගේ හිතට බයක් ආවා. එත් මගේ සමුද්‍ර වෙන්න බෑ. එයා තාමත් මගේ මතක එක්ක ඒ වගේමයි.

 

අද මගුල් ගෙයක්.සයුරුගේ බිස්නස් පාර්ට්නගේ නංගිගේ වෙඩින් එක. මාවත් හොදටම අදුරන හින්දා නොගිහින්ම බෑ. අනික හරිම හොඳ අය. පරම්පරාගත සල්ලිකාරයෝ උනත් නිහතමානි කට්ටිය.

බබාව අම්මා ළග තියලා අපි දෙන්න ගියා වෙඩින් එකට.

 

වෙඩින් එක ගෝල්ෆේස් හොටෙල් එකේ

 

ඉස්සරහම තිබුනේ “රිතු වෙඩ්ස් සමුද්‍ර” කියලා

 

මම සයුරුට කියලා ටිකකට එලියට ආවා, මුහුදු හුළගේ හොඳ හුස්මක් ගන්න.

මම වෙරළ දිහාට හෙමින් ඇවිද්දා….

 

සමුද්‍ර එතන හිටියා

 

එත් මගේ සමුද්‍ර නෙමේ

 

කොන්ඩේ කොටට කපපු, රැවුල් ගහක් නැති කණ්නාඩි දෙකක් දාපු සාම්ප්‍රදායික පෙනුමක් තිබුණ මනමාල මහත්මයෙක් එයාගේ වෙඩින් එකේ Bridesmaid ලා ගොඩක් එක්ක selfi එක්ක ගන්න ගමන් හිටියා.

මාව අදුරගන්න තත්පරයක් යන්න නැතුව ඇති, මං තාමත් එහෙම්මම හින්දා, කිසිම විදියකින් එයා දැකලා තිබ්බ විදියෙන් වෙනසක් වෙලා තිබුනේ නැති හින්දා. සමුද්‍ර මං දිහා බලාගෙනම හිටියා එත් මං දැක්කේ සමුද්‍ර අතරින් බිදෙන මහ මුහුද.

 

රැල්ලක් ඇවිත් කකුල් තෙමාගෙන ගියේ යමු අපි ඇවිදගෙන යමු කියලා ආරාධනාවක් කරගෙන. මම වෙරළේ ඇවිදගෙනම ගියා…..

අදත් මට කදුළු තිබුණේ නෑ.

එත් මට මට ඕනේ උනා මගේ සමුද්‍රව නිදහස් කරන්න……

 

මං ඒ මතක ගොන්නට ඉඩ හැරියා පියාඹන්න, පියඹාගෙන ගිහින් ගිහින් හති වැටුනාම මුහුදට වැටෙන්න, මුහුදට වැටිලා පතුලක් නොපෙනෙන තරම් ගිලිලා සදහටම මට අමතක වෙන්න.

 

“උඹ මුහුදක්

පතුලක් නැති අදුරු කළු,

දිලිහෙනා කාලයක මතුපිට මෘදු,

නිසලයි කියා රළුව චණ්ඩව

පතුලම කලඹා හුරාගෙන

සෙමින් විත් උස්ව නැගෙන

අහංකාර චංචල

එක හිතක් නැති හීතල,

උඹ

මහ මුහුදක්,

 

කවමදාකවත්

තේරුම් නැති,

ගුප්ත,

මහ මුහුදක්

උඹ,

ආදරණීය……….

Leave a comment